Search This Blog

Wednesday, November 27, 2013

අද තීරණය හෙට විසදුමයි...........








සතියකට සැරයක් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ලොකුම ප්‍රශ්නයකට තියෙන්නෙ සිංහල ටයිපින් වල ස්පීඩ් එක මදිකමයි. ඒක හන්දම ඇත්තටම කම්මැලී ටයිප් කරන්න. ඒක ටික දවසක් යනකොට ඉතින් හරියයි කියල හිතනවා. මොකද ඉතින් සිංහලෙන් ටයිප් කරනවනමි ටයිප් කරන්නෙ බ්ලොග් එක ලියනකොට විතරයි. තව එකක් තමයි බ්ලොග් එක කට්ට්ය බැලුවට ඉතින් කමෙන්ට් වැටෙන්නෙ අඩුවෙන්. එතකොටත් ඉතින් කම්මැලී පෝස්ට් එකක් දාන්න. ඒකට කමක් නෑ ඉතින්. වෙලාව තියෙන විදිහට මට හිතෙන දෙය මම ලියනවා. බයිලා ඇති දැන් කියන්නම්කෝ කියන්න කියලා ආව දෙය.


අපායට ගියත් කලින් යන්න ඕනි” කියලා කතාවක් අහලා ඇතිනේ නේද?



ඇත්තටම ඒ කතාව ජීවිතයේ ටිකක් හරි පසුගාමී කෙනෙකුට රුකුලක්. ඒ වගේම ඉදිරියට යන්න තල්ලුවක්. ඒත් ඉතින් කතාවට කිව්වට ඉක්මන් වෙනවා කියන්නේ ඔළුව ගිනි ගත්තා වගේ වැඩ කරන එකනම් නෙමෙයි.

 ඉක්මන් වෙලා ගන්න තීරණ සමහර අවස්ථාවලදි හරි යනවා ඒත් සමහර වෙලාවට වරදිනවා. ඒ වෙන වැරැද්ද මුලු ජීවිත කාලයටම විදවන වැරුද්දක් වෙන්නත් පුළුවන්. නැත්නම් එම ඉක්මන් විසදුම නිසා තව ප්‍රශ්න ගොඩක ආරම්භය වෙන්නත් පුලුවන්. ඒත් නැත්නම් අපේ එක් හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. 

ඇත්තටම කඩිසර වීමයි ක්ෂණික තීරණ ගැනීමයි , ඉක්මන් තීරණ ගැනීමයි කියන්නෙ එකිනෙකට වෙනස් අවස්ථා තුනක්. මේ තුනම සමානයි වගේ පෙනුනට පුංචි පුංචි වෙනසකම් තියෙනවා. පොඩ්ඩක් හිතල බලන්න.........

තීරණයක් කියන්නේ කිසියම් විසදුමක් සදහා එලැ‍ඹෙන ප්‍රවේශයක් කිව්වොත් හරි කියලා හිතනවා. මොකද තීරණයක් කියන්නෙ විසදුමක් නෙමෙයි. ගන්න තීරණය හැටියට තමයි විසදුම ලැබෙනවාද නැද්ද කියලා හරියටම කියන්න පුළුවන්. නමුත් තමන් ගන්න තීරණ වල වගකීමනම් තමන් සතුයි. එය තමන්ම බාරගන්න ඕනි.

සමහර වෙලාවට සමහර තීරණ වලදී අපිට කාගෙ හරි මගපෙන්වීමක් ඕනි වෙනවා. ඒ කෙසේ වෙතත් කිසියම් විසදුමක් සදහා එලැබෙන ප්‍ර‍වේශය නැතිනම් තීරණය බුද්ධිමත් මිනිසුන්ට තනිවම උනත් ගන්න පුළුවන්. එම ගන්න තීරණය මගින් ප්‍රශ්නයට විසදුම නිවැරදිවම ලැබෙනවාද එහෙමත් නැත්නම් නැති ප්‍රශ්නත් ඇති කරනවාද කියන අවබෝධය තීරණයට එලැඹෙන පුදුගලයන් සතුවිය යුතුයි.

අපි යම් ප්‍රශ්නයකදී ගන්න තීරණය ඇත්තටම මොලේ පාවිච්චි කරලා බුද්ධිමත්ව ගන්නවනම් ඒ සදහා ලැබෙන විසදුමද තිරසාරයි. එහෙම කරලත් ඉතින් ගන්න තීරණ වරදින්න පුළුවන් සමහර වෙලාවට. ඒත් කිසිම දෙයක් හිතන්නෙ නැතුව තීරණයක් අරගෙන පස්සෙ පසුතැවෙනවාට වඩා ප්‍රශ්නය දිහා බුද්ධිමත්ව බලලා තිරණයක් අරගන්න එක හොදයි කියලයි මගෙනම් අදහස. මොකද එම ගන්න තීරණය හරියන්න තියෙන ප්‍රතිශතය බොහෝ වැඩියි.

තමන්ට ඒ මොහොතේදී ආව ආවේගයට හැගීමට විතරක් වහල් වෙලා තීරණ අරගෙන කීදෙනෙක්නම් අද වෙනකොට තමන්ගේ ජීවිතයෙන් සමුඅරගෙන තියෙනවද?

ඒ සිදුවීමක් අහපුවම නැත්නම් එහෙම මළගෙදරකට සහභාගී උනාම අපි උනත් කියනවා 

ඒ කෙනා තව පාරක් හිතුවනම් අද මේ වගේ දෙයක් වෙන්නෙ නෑ” කියලා.
නැත්නම් අපි කියනවා,
“ඔය කෙනා මොලේ පාවිච්චි කලානම් අද ඔහොම වෙන්නෙ නෑ” කියලා.

“ඕකට ඔහොම වෙලා මදි” කියලා කියන අයත් නැත්තෙමත් නෑ. ඒත ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ඉතින් මෙතනට අදාල වෙන්නෙ නෑ.

අපේ බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවක දේශනා කරල තියෙනවා අපි තීරණයක් ගන්න කලින් තෙවරක් සිතා බලන්න ඕනි කියලා.

ඒත් ඒ සදහා අපි ගන්න කාලය ප්‍රශ්නයක් නෑ ඇත්තටම. මොකද සමහර වෙලාවට තීරණය ගන්න අපිට තියෙන්නෙ තත්පර කීපයක් වැනි ඉතා කුඩා කාලයක් පමණක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තීරණයක් ගන්න අපිට අවුරුද්දක් වගේ කාලයක් ලැබෙන්නත් පුළුවන්.

ඒක හන්ද යම් තීරණයක් ගන්න තියෙන කාලය සාපේක්ෂයි.

ක්ෂණික තීරණයක් කියන්නෙ ඇත්තටම හරිම වගකීමකින් යුතුව ගන්න ඕනි දෙයක්.මොකද මේ සදහා ලැබෙන කාලය ඉතාමත්ම අඩුයි ඒ වගේම වරදින්න ඉඩකඩත් බොහොම වැඩියි. මොකද ගොඩක් වෙලාවට අපි මෙහෙම තීරණයකට එළැඹෙනකොට අපේ බුද්ධිය වසන් ‍වෙනවා.


අපේ ජීවිතයට නොසිතූ ලෙස මුණගැහෙන ප්‍රශ්න වලට විසදුම් සොයනවානම් වඩා බුද්ධිමත්ව මෙන්ම එම තීරණය ගන්න කලින් තෙවරක් කෙසේවෙතත් දෙවරක්වත් හිතලා ගන්නවනම් ඒ ගන්න තීරණය ඇත්තටම එම ප්‍රශ්නයට හොදම පිලිතුර කෙසේ වෙතත් හොද පිළිතුරක් වෙයි කියලයි මගෙනම් අදහස........






(විවේචන හොද නරක කියවන ඔයාට බාරයි)

Monday, November 25, 2013

........බොක්ස්........








කට්ට කළුවර මැදුරක.....
ඉදිරිපස විවර වූ පොඩි ඉඩක.....
ඉදිරිපස දිවෙන රූපරාමු පෙල.....
නිශ්ශබ්දය බිදින මියුරු සංගීතය.....
විටෙන්විට නැගෙන දෙබස්.....
ඒ කිසිවක් නොදැක.....
නොඇසී.....
නොසිත.....
තමන්ගෙම වූ සුර ලොවක.....
කිසිම බාධාවක් නොමැතිව.....
පුංචි චකිතයකින්....
සොදුරු ආදර බස්.....
හදිසි තීරන.....
තාවකාලික විශ්වාසය.....
තමන්ට රිසි ලෙස.....
ආදරයෙන් කුල්මත්ව.....
රාගයෙන් වල්මත්ව.....
චලනය වන ගුප්ත සෙවනැලි.....
මුවට මුව.....
හරි හැටි සීමාවක් නොදැන.....
ඇග පුරා දිවෙන රාග හස්ත.....
යකඩ හස්ත වලට මැදිව.....
මූසල කළුවර බිදින.....
වරින් වර නැගෙන කෙදිරිලි.....
බියක් සැකක් නොමැතිව.....
අනාගතය හරිහැටි නොදැන.....
මුසා බස් වලට රැවටී.....
හොරා කීපයකට .....



බිලිවන තරුණ ජීවිත.....'





Saturday, November 23, 2013

....ගිනි බෝලය....







බ්ලොග් එකත් පාලුවට යන හන්ද මම හිතුව පොඩි කතාවක් ලියන්න කියලා. මේක උන දවස්වලනම් අපි කොල්ලො සෙට් එක හම්බුන ඕනෙම වෙලාවක අනිවාර්යෙන්ම ඇදල ගන්න කතාවක් මේක. මොකද මේක උන අලුතම හන්ද හැමොටම මතක තිබුනා. ඒ වගේම මතක් වෙනකොටත් හිනා.


ඔන්න ඉතින් ලංකාවෙ එක ප්‍රධාන පෙලේ ගෑණු පාසලක තිබුනලු DJ NIGHT එකක්. අමුතුවෙන් ඉතින් කියන්න ඕනි නෑනේ ඉතින් ඕවට ඉතින් වැඩිපුර දුවන්නෙ අපේ කොල්ලොනේ. මොකද ඉතින් නංගිල එ‍හෙමත් එනවනේ.

 ඉතින් කතා එහෙම පවත්වලා DJ NIGHT එක පටන් ගත්තලූ. කොහොම  හරි 7 විතර වෙනකොට වැඩ පටන් ගත්තා. පටන් ගන්නකොටනම් කට්ටිය කෙල්ලො කොල්ලො වෙන වෙනම නැටුවලු. මෙන්න ඉතින් ටික වෙලාවක් යනකොට single ඩාන්ස් couple ඩාන්ස් උනාලු.

මේක දැක්කා විතරයි මෙන්න බොලේ විදුහල්පතිතුමිය ගත්තලු සාරිය(පොට) කරට.. ඊට පස්සෙ  DJ කොලුවට වැඩේ පොඩ්ඩක් නතර කරන්න කියල mick එක අතට අරන් ජාතිය ඇමතුවලු.

"ඔය මෙතන නටන්න ආව කො(ලො)ල්ලන්ටයි කියන්නෙ කරැණාකරල මෙතනින් අයින් උනොත් හොදයි නැත්නම් ඉතින් මට පොලීසිය ගෙන්වන්න වෙනව කට්ටියව අයින් කරන්න". 


මේක කිවිවා විතරයි එකපාරටම මහ පුදුම දෙයක් තමයි උනේ. පිට්ටනියෙ හිටපු ඔක්කොම නිකන් හොල්මන් වෙලා බලන් හිටියලු. එක පාරටම පිට්ටනියෙ එක කොනක ඉදන් මෙහා කොනට ගිනි බෝලයක් වගේ දෙයක් විදුලි වේගයෙන් ගියාලු හරියටම අපේ ඔලුව මට්ටමෙන් වගේ.


ගොඩක් උන්ට බක බක ගාලා බඩත් අල්ලගෙන හිනාලු.

මේ අස්සෙන් මෙන්න තව එකෙක් පිට්ටනියම දෙවනත් වෙන්න කෑ ගහනව,


යකෝ බොල $%$$##$%^&*^% ඕක දීලා පලයන් කියලා. 

මම බැලුව මොකක්ද යකෝ මුගෙ උස්සල තියෙන්නෙ කියලා.
මමත් ඉතින් පොඩ්ඩක් එතනට කිට්ටු කලා. මටත් ප්‍රශ්න වැලයි.

එහෙන් ගිනි බෝලයක්, මෙ‍හෙන් එකෙක් කෑ ගහනව උගෙ මොකක්ද එකක් උස්සලලු. අනේ අපොයි.මම හිතන්නෙ එතන හිටපු හැම එකාටම මට තියෙන ප්‍රශ්‍නෙම තියෙන්න ඇති.


ටික වෙලාවක් යනකොට ඉතින් මට ඔක්කොම ක්ලික් උනා. අර ඉස්සුවා කියලා කෑ ගහල තියෙන්නෙ කඩල කාරයෙක්. එතකොට අර ගිනි බෝලයක් වගේ ගිහින් තියෙන්නෙ ඒ අහිංසකයගෙ කඩල කරත්තය.

හැමෝම දන්නවනේ කඩල කරත්ත වල පන්දම් තියෙනව කියලා.ඔන්න ඔය පන්දම් දෙක තමයි ගිනි බෝලයක් වගේ ගිහින් තියෙන්නේ. එතකොට ඉතින් හිතාගන්න පුලුවන්නේ ඒක ගිය වේගය.

එතකොට කඩල කරත්තය ඉස්සුවෙ කව්ද? නැත්තම් මේකට කකුල්වත් ඇව්ත්ද?


මෙන්න මේකයි වෙලා තියෙන්නෙ විදුහල්පතිතුමිය කෑ ගහපු වෙලේ කඩල කරත්තය ලග හිටපු කොල්ලො ටික නටන එක පැත්තකට දාලා කඩල කරත්තයත් තල්ලු කරගෙන දුවගෙන ගිහින්. අන්තිමට බැලුවහම කට්ටිය fun එක අරගෙන තියෙන්නෙ DJ එකෙන් නෙමෙයි අර කොල්ලන්ගෙ වැඩෙන්. විදුහල්පතිතුමියටත් පන යන්න හිනාලු ඉතින්.




                                                                                                     <<<< සත්‍ය සිදුවීමකි>>>>

Thursday, November 21, 2013

එහෙම උනොත් මෙහෙමයි මෙහෙම උනොත් එහෙමයි.........





        පුතේ උබ ඩොක්ට කෙනෙක් වෙයන්... පුතේ උබ ඉංජිනේරුවෙක් වෙයන්...පුතේ උබ ලොයර් කෙනෙක් වෙයන්.....

        ඇත්තටම මේක තමයි දරුවෙක් ටිකෙන් ටික උස් මහත් වෙනකොට අම්මා තාත්තා ලමයගෙ ඔලුවට දාන්නේ. ඇත්තටම ඒ ඔවුන්ගෙ අහින්සක බලාපොරොත්තු. ඒකෙ කිසිම වරදක් නෑ. ඒත් ඉතින් කීයෙන් කී දෙනාද කියන්නෙ පුතේ උබ කවද හරි මේ රටේ හොද රක්ශාවක් කරන කෙනෙක් වෙන්න කියලා. ලමයා ඕකම ඔලුවෙ තියාගෙන ඉදලා අම්මා තාත්තා බලාපොරොත්තු වෙන තැනටම ගියොත් කොච්චර සතුටක්ද ඇත්තටම.

බැරිවෙලාවත්,

ඒ කියපු තැනට යන්න බැරි උනොත් එහෙම?
ඒත් නැත්නම් දෛවය විසින් ඒ ගමන නතර කලොත් එහෙම?
ඒත් නැත්නම් විභාගෙන් ඒ තැනට යන්න ලකුණු මදි උනොත්?
ඒත් නැත්නම් ඒ ලමයා විභාගය සමත් වෙන්න බැරි උනොත් එහෙම?
 මොකද අනාගතේදී කරන්නේ?

උසස්පෙල ලියලා ඉවර උනාට පස්සෙත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නෙ. ඊලගට මොකද කරන්නේ?

ඔක්කොම හොද විදියටම සිද්ද උනොත් ලොකු දෙයක්. බැරි උනොත් එහෙම එතනින් එහාට ජීවත් වෙන්නෙ නැද්ද?

මැරෙනවද?

ඉස්සරහ අනාගතය ඇත්තටම අදුරුයිද?

ඇත්තටම මේ ඔක්කොම ප්‍රශ්න තමයි. පොඩි කාලෙ ඉදලම අම්මයි තාත්තයි ඒ ලමය ගැන හොයා බලනවා. ලමයට හිතන්න කිසිම දෙයක් නෑ. දෙමව්පියෝ දෙන්න ඔක්කොම කරල දෙනවා. ලමයට තියෙන්නෙ ඉගෙනගන්න විතරමයි. ඒ ලමය ඇත්තටම programme කරපු robo කෙනෙක් වගේ. පිටස්තර ලෝකය ගැන කිසි අවබෝධයක් නෑ. සමාජය හදුනන්නෙ නෑ. කරන්න කියන දෙය කරනවා එපා කිව්වොත් නොකර ඉන්නවා.

ඔහොම ඉන්න ලමයව 11 වසරෙන් පස්සෙ අතාරිනවා. ඒ කියන්නෙ අම්මා තාත්තා හිතනවා දැන් ලමයට හොද නරක තේරෙනවා ඒක හන්ද වැඩිය කලින් වගේ පස්සෙන් ඉන්න ඕනි නෑ කියලා.එහෙම හිතන එක එයාලගෙ පැත්තතෙන් ඇත්තටම සාධාරනයි. මොකද ලමයට තනියෙන් ජීවත්වෙන්න පුරුදු කරන්න ඕනි.

කුඩුවෙන් නිදහස් කරපු කුරුල්ලා වගේ ලමයා තමන්ට හිතුමනාපෙට වැඩ කරනවා. පොඩි කාලෙදි කරන්න නොදුන්න ඔක්කොම කරන්න හදනවා. පුළුවන් උනොත් ආදර සම්බන්ධයකුත් පටන් ගන්නවා. නැත්නම් මත්ද්‍රව්‍ය වලට ලොල් වෙනවා. ඔහොම ගිහින් කොහොම හරි සාමාන්‍ය පෙල සමත්වෙනවා.

ඊට පස්සෙ උසස්පෙල කරන්න යනවා. තමන් අනාග(ත්)ත විෂය ධාරාව තෝරගන්නවා. අම්මා තාත්ත කැමති දෙය තමයි ගොඩක් වෙලාවට තොරගන්නෙත්. අඩුම තරමෙ තමන් දන්නෙ නෑ තමන්ට ඒක කරන්න පුලුවන්ද බැරිද කියලවත්. යාළුවා කරන හන්ද නැත්නම් කවුරුවත් කියන හන්ද කරන්න පටන්ගන්නවා.

ඔහොම පලවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද ගෙවෙනවා. අන්තිමට විභාගයත් හොදට හෝ නරකට ලියලා දානවා. පලවෙනි පාර අසාර්ථක උනොත් ආයෙත් ඊලග අවුරුද්දෙ ලියනවා. ඒත් අසාර්ථකනම් ආයෙත් ලියනවා. කොහොම හරි තමන්ට ලැබෙන අවස්ථා 3ම ගන්නවා. රිසල්ට් එකත් එනවා.


අපි හිතපු විදිහට නෑ.....


දැන්නම් ඉතින් ඉදල වැඩක් නෑ.

පව් අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු.

දැන් මම මොකද කරන්නේ?
අ යි යෝ!!!!!

දැන් මම කොහොමද මූන දෙන්නේ?

කවුරු මොනා කිව්වත් කමක් නෑ. මොකද වියදම් කලේ අම්මයි තාත්තයි. විභාගය ලිව්වෙ අපි. නිදි මරාගෙන පාඩම් කලේ අපි. ඉතින් මිනිස්සු මොනා කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත කතාව එක එක ඒවා කියන අය අපි තරමටවත් ඉගෙනගෙන නෑ. කාට හරි වරදිනකන් තමයි බලන් ඉන්නේ. කවුරු මොනා කිව්වත් වැටෙන්න එපා.

 3 වෙනි අවස්ථාවෙදි හරි තමන්ගෙ ඉලක්කයට යන්න පුළුවන් උනොත් හොදයි. බැරිවෙලාවත් එහෙම බැරි උනොත් එහෙම? ඇත්තටම ඉස්සෙල්ලා කිව්වා වගේ තත්වයක් නේද ඇතිවෙන්නේ?

නිකමට හරි හිතල තිබුනද බැරි උනොත් මම මොකද කරන්නෙ කියලා?

සමහර විට ඔයත් ඇතුලුව බොහෝ දෙනාගෙ උත්තරය තමයි නෑ කියන එක. මගෙ උත්තරයත් නෑ. ඉලක්කයක් නැතුව කාටවත් ඉදිරියට යන්න බෑ. ඒක එහෙම නෙමෙයි කියනවනම් ඌ පිස්සෙක්. 

ඒත් සමහර වෙලාවට අපිට අපි බලාපොරොත්තු වෙන ආකාරයටම බලාපොරොත්තු වෙන තැනටම යන්න බැරි වෙනවා.  එහෙම උනා කියලා ජීවිතය කඩා වැටෙන්නෙ නෑ. ඒත් අපි මුලදි පෙඩ්ඩක් හරි හිතල තියෙන්න ඕනි අපේ ඉලක්කයට යන්න බැරි උනොත් අපි ඊලගට මොකද කරන්නෙ කියලා. අන්න එහෙම චුට්ටක් හරි හිතල තිබුන කෙනා ඉක්මනට ම අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙයි. සමහරවිට අවුරුදු කීපයක් යනකොට තමන් බලාපොරොත්තු උනාටත් වඩා ඉදිරියට ගිහින් තියෙයි. එහෙම උන එක සමහරවිට හොදයි කියලා එදාට හිතෙයි.
විභාගයකින් තමන් බලාපොරොත්තු වෙන තැනකට යන්න බැරිවෙනවා කියන්නෙ ඒක තමන්ගෙම වරදක්. වරද බාර ගන්න ඕනි අපිමයි. එක්කො ආදර සම්බන්ධයක්. නැත්නම් පාඩම් කලේ නෑ මගහැරියා. ඒත් නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා. ඒත් නැත්නම් වෙන මොකක් හරි හේතුවක්. තමන් දන්නවනේ මොකක්ද කියලා........ 

ඉතින් අපිට වැරදුනා කියලා කාටවත් ඒකට දොස් කියලා වැඩක් නෑ. ඒත් ඒක එක දෙයක් විතරයි. කඩාවැටීම් එකක් තියෙනකොට ඒකෙන් ගොඩ එන්න මාර්ග ඕනි තරම් තියෙනවා. ඒත් ඒ මොහොතෙදි අපිට ඒක වෙනුවට වෙන විකල්පයක් නැත්නම් ඇත්තටම සෑහෙන්න අපහසුතාවයකට පත් වෙනවා නේද. සමහරවිට කම්පනය දරාගන්න බැරුව පිස්සු හැදෙන්නත් පුළුවන්. මුළු ජීවිතයම එපා වෙන්නත් පුළුවන්.

ඒත් පොඩ්ඩක් හිතල බලන්න අපි නිකමට හරි විකල්පයක් කල්පනා කරලා තිබුනනම්??????


{ 2013 උසස්පෙල විභාග ප්‍රතිඵල ඒමට පෙර දැමූ පොස්ටුවකි }

ආයුබෝවන්...................













වරයි දෑවරයි තුන් ඈවරයි කියලා ඔන්න ඉතින් මමත් මගෙ පුංචි  බ්ලොග් එක මේ විදිහට පටා....න්...  ගත්තා.


කියන්නට දේ නම් බොහෝමයි. ඒ ඔක්කොම හිමිහිට කියන්නම්කෝ.

වසර ගනනක් ගෙවූ ජීවිතයෙ අද කියන දවස උදා වුනා. ඉතින් මමත් හා හා පුරා කියලා පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න කියලා. මේක මේහෙම පටන් ගන්න උදව් කරපු අය බොහෝමයි. ඹන්න ඉතින් ඒ හැම ‍දෙනාටම ගොඩාක් ස්තූතියි.

බ්ලොග් එකක් ලියන්න ඇත්තටම මට අලුත් දෙයක්. ලිවීමේ හැකියාව කොහොම වෙයිද කියලනම් මම කියන්න දන්නෑ. ඒ ඔක්කොම කියවන ඔයාලට බාරයි. වැරදි පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන මේක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හැම කෙනාගෙම සහය බලාපොරොත්තු වෙනවා..........