Search This Blog

Thursday, January 23, 2014

නායකත්ව පුහුණුව - ගිරිතලේ (ඉතිරි කොටස)










නායකත්ව පුහුණුවේ ඉතුරු ටික ඉක්මනටම දාන්නම් කිව්වට ඉතින් ටික දවසක් ගියා. මුල් ටික කියවු නැති අය ඒ ටික කියවලම එන්නකෝ මෙතනින් ගිහින්. 


නායකත්ව පුහුණුවේ තව මාර මාර වැඩ තමා උනේ. දවසක් තිබුන එක ලමයෙක්ගේ උන්දිනයක්. ඉතින් කෑම්ප් එකෙන් මම මුලින් කියු විදිහටම කේක් එකක් එහෙම කැපුවා. ඔහොම කපලා එහෙම ඉවරඋනාම කට්ටියම මෙයාට කිව්වා

“හැපි බර්ත් ඩේ” කියලා.

කොහොම හරි ඒ ලමයත් හොද හිනාවක් එහෙම දාලා කියාපි
සේම් ටු යූ” කියලා.

 මම හිතන්නෙ මිනිහට සතුට වැඩිකමට ඉන්න තැනත් අමතක වෙන්න ඇති.

අපි  හයික් එක විදිහට ගියේ නාගල කන්දට. ඒ කන්දනම් වැඩිය ලොකු කන්දක් එහෙම නෙමෙයි. මොකද ඉතින් පොළොන්නරුවෙ කොහෙද මහ ලොකු කදු. කන්ද නැගල බහින්න මම හිතන්නෙ විනාඩි 45ක් විතර යන්න ඇති. කන්ද නගින්න යනකොට අපිට දුන්නා බෑන්ඩ් එකක්.




නැත්නම් කට්ටිය බලයි සමහර ෆොටෝස්වල රතු පාට බෑන්ඩ් එකක් දාගෙන ඉන්නෙ ලස්සනටද කියලා. මොකද පොළොන්නරුව අවට තියෙන හැම කෑම්ප් එකකින්ම එන්නෙ නාගල කන්දට. නැත්නම් ඉතින් කට්ටිය මාරු වෙලා වෙන වෙන කෑම්ප් වලට එක්කගෙන යයි කියලා. කන්ද නැගලා අපි කෑම්ප් එකට එනකොට ඉතින් 11 විතර උනා. ඊට පස්සෙ තමයි හොද සෙල්ලම තිබුනේ. අපිට සර් කිව්වා අද කට්ටිය උයන්න ඕනි කියලා. ඉතින් උයනවා කියන්නෙ 300කට විතර උයන්න වෙනවා. මොකද එදා හමුදාවෙ උයන අයියලත් උයන්නෑ. ඉතින් අපිට එයාලටත් එක්කම උයන්න වෙනවා. කණ්ඩායමකින් එක් එක්කෙනාට එන්න කියලා තුණ්ඩු වගයක් උඩ දාලා අහුලගන්න කිව්වා. පෙර පිනකට වගේ අපිට සෙට් උනේ බත් එක. හැබැයි බත් එක මොනා හරි උනානම් කට්ටිය මොනා හොදට හැදුවත් කන්න වෙන්නෙ නෑ. හදන්න ලේසි උනාට ඉතින් වැරදුනොත් වැඩේ කචල් වෙනවා. ඊටත් වඩා බැනුම් කෝටියයි. බැනුම් අහලම බඩ පුරවගන්න තිබුනා. කුකුල්ලු එහෙම සුද්ද කරනවට වඩා ඉතින් බත් එක හොදා. සම්බා බත්, කුකුල් මස්, බොංචි, අල, ගෝවා තිබුනා කට්ටියට උයන්න.






හමුදාවෙ උයන අයත් ඉතින් උදවු කලා. නැත්නම් එයාලට ආයෙත් උයන්න වෙනවනේ කට්ටිය උයන ඒවා කන්න බැරි උනොත් එහෙම. සමහර අය මිරිස් කපලා අත දැවිල්ල අරගෙන හූ කිය කියා වතුර බාල්දි හොයාගෙනත් දිව්වා. මෙතන ඉතින් නම් ගම් සදහන් කරන එක හරි නැති හන්ද සදහන් කරන්නෙ නෑ. කෑම ටික ඉදෙන්න ලිපේ තියලා එහෙම කට්ටියම ලිප වටේ ඉදගෙන සින්දු කියලා නටලා එහෙම ෆුල් ෆන් එකක් ගත්තා. කියන්න සතුටුයි උයපු කෑම අන්තිමට හොදටම තිබුනා.





කොහොමෙන් කොහොම හරි අපි හැමොටම අවුරුද්දේ අන්තිම දවස වගේම ඊලග අවුරුද්දෙ පලවෙනි දවස සමරන්න හම්බුනෙත් කෑම්ප් එකේමයි. ඇත්තටම ඒක අපි හැම කෙනාටම අලුත්ම අත්දැකීමක් උනා. ආයෙ ඒ වගේ අවස්ථාවක් ජීවිතේ කවදාවත්ම හම්බෙන එකකුත් නෑ මම හිතන්නෙ. හමුදාවෙ අය 31st NIGHT එක හොදටම සංවිධානය කරලා තිබුනා. එදා රෑ සංගීතයක් තිබුනා. කොහොම හරි ඕක පහුවදා පාන්දර 2 විතර වෙනකන්ම තිබුනා. කට්ටිය ඉතින් පන යනකන් නැටුවා. සමහර අයව බලෙන් නැටෙව්වා. සමහර අය හිටිය කවදාවත් සංගීතයකට ගිය නැති අය. තව සමහරක් හිටිය ගියාට නටපු නැති අය. ඒ හැමොටම එයාලගෙ පලවෙනි නැටුම මේක උනා. මම කිව්වනේ මුලින්ම අපි කරපු නැති ගොඩක් දේවල් මේ දවස් ටික ඇතුලත කලා කියලා. ඔන්න ඕකත් එකක් තමා. 31 මහ රෑ හරියටම 12ට දෙන්නෙක්ගේ උපන්දින සැමරුවා කලින් කිව්වා වගේම කේක් එහෙම කපලා. මේ ඔක්කොම හමුදාවෙ අය ඉතාමත්ම හොදට සංවිධානය කරලා තිබුනා.






 අවුරුද්දක් ගෙවිලා නව අවුරුද්දක් ලබනකොටම තමන්ගෙ උපන්දිනය සමරන්න අවස්ථාව හම්බෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද.

මේ ඔක්කොම අතර හැම දවසකම වගේ දේශකයෙක් ආවා මොනා ගැන හරි දේශනයක් කරන්න. ඒත් ඉතින් කියෙන් කී දෙනාද ඕවා අහගෙන ඉන්නෙ නේද? ගොඩක් අය පුටුවල නිදි. සමහර අය මූණු වහගෙන නිදි. 






මූණු වහගෙන නිදියන්නෙ ඇයි කියල මම කියන්නම්. අපි කෑම්ප් එකට ආව මුල්ම දවසෙ අපිට පෙන්නුවා කලින් මේ පුහුණුවට ආව අය දේශන වලදි සැපට නිදියගෙන ඉන්න ෆොටෝස්. අපිටත් කිව්වා ඔයාලගෙ ඒවත් අනිත් එන අයට පෙන්වනවා කියලා. ඇත්ත කතාව කිව්වොත් මේකනේ කට්ටියට කොහොමත් ෆෑන් එකක් යට සැපට ඉදගෙන පැයක් දෙකක් යනකොට නිකන්ම නින්දෙ යනවා. ඉතින් දේශන වලට එන කට්ටිය එන්නෙ සෑහෙන දුර ඉදන්නේ. ඉතින් එහෙම ඇව්ත් කරනකොටත් කට්ටිය සැපට නිදාගෙන ඉන්නවා දකිනකොට කාට උනත් කලකිරෙනවනේ. ඉතින් ඔන්න ඕක හන්දම තමයි මුල්න්ම අපිව බය කලේ අරහෙම කියලා. ඒත් ඇත්තටම කට්ටියගේ ෆොටොස් ගන්න පන්ගත්තා. එක ෆොටො එකක් ගත්ත ගමන්ම ෆ්ලෑෂර් එකේ එලියට මුලු පලාතෙම නිදියගෙන ඉන්න අය නැගිටිනවා. සමහර අයට ඉතින් ෆ්ලෑෂර් නෙමෙයි ඉර ලගට ගෙනත් තිබ්බත් නැගිටින්නෙ නෑ. 





ඉතින් ගොඩක් අය නිදියන්නෙ අපිට එහෙන් දුන්න කැප් එකෙන් මූන වහගෙන. මොකද එතකොට ෆොටෝ ගත්තත් අවුලක් නෑනේ. මූණ නෑනේ. කොහොමෙන් කොහොම හරි ඒ ෆොටෝ ගන්න ඒ හමුදා  අයියා අපි කවුරු අතරත් ප්‍රසිද්ධ උනා ෆොටෝ අයියා කියලා. ඇත්තටම හරිම හොද අයිය ‍කෙනෙක්. එයා තමා අපි කෑම්ප් එකට ආව දවසෙ ඉදන් අන්තිමට යන දවස වෙනකන්ම ඔක්කොම දේවල් ෆොටො වීඩියෝ එහෙම කලේ.





අපිට දේශන ගොඩක් තිබුනා. ඒ දේශන වලින් ගොඩක් ඒවා නවක වදය සම්බන්ධ දේශන තමයි තිබුනේ. සමහර දේශන වලදිනම් කට්ටියට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. කට්ටිය අකුරක් නෑර අහගෙන හිටියෙ. දැන් මේක කියවන ඔයා බලනවා ඇති මොකක්ද යකෝ ඒ දේශන කියලා. එකක් තමයි ලිංගික ගැටළු හා පවුල් සංව්ධානය කියන දේශනය. අනිත් එක තමයි Dreamron එකෙන් ඇවිත් කරපු දේශනය. ලිංගික ගැටළු හා පවුල් සංව්ධානයනම් බයෝ නොකරපු කරපු ගොඩක් අයට ඉතාමත්ම වැදගත් උනා. ඕනෙම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවත් උදාඋනා. ඒකත් ඉතින් ලොකු දෙයක්නේ. මම හිතන්නෙ ස්කොලෙදිවත් මෙහෙම අවස්ථාවක් කාටවත්ම නොදෙන්න ඇති. Dreamron එකෙන් කරපු දේශනයෙදී දෙන්නෙක්ට නොමිලේම පේෂල් එකක් කරගන්නත් අවස්ථාව උදා උනා.





තව ඒකෙදී පංච කල්‍යාණිය ලස්සන කරගන්න කරන්න ඕනි සත්කාර ගොඩක් කියලා දුන්නා. ඇත්තටම ඒක සෑහෙන්න වටිනවා. මොකද දැන් අපේ නාඹර වයසනේ. ලස්සනට ඉන්න හැමෝම කැමතිනේ.... අනිත් දේශනය තමා ප්‍රථමාධාර ගැන කරපු දේශනය. ඒකෙදි කියපු වැදගත්ම දෙයක් තමා අපි වැටිලා ඔලුව වැදුනොත් කවදාවත්ම අයිස් තියනවා ඇරෙන්න කිසිම දෙයක් කරන්නනම් එපා කිව්වා. අනිත් කරන හැම දෙයක්ම හොද නෑ කිව්වා. ඒවට හේතුත් කිව්වා. ඒවා කියන්න ගියොත් පෝස්ට් එක තවත් දිග වෙනවා. එතකොට ඔයාට කියවන්න එපා වෙනවා. 

ආ තව කිව්වා පිච්චුනහම ගලායන වතුරට අල්ලනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ප්‍රථමාධාර විදිහට කරන්න යන්න එපා කියලා. තව ගොඩක් ඒවා කිව්වා බොරු කියන්න ඕනි නෑනේ මට ඒවනම් හරියටම මතකයක් නෑ. ඒ ඔක්කොම මතක් කරලා ලගදිම ප්‍රථමාධාර ගැනත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා. සාමූහික චර්යා හා නායකත්වයේ අවශ්‍යතාවය, කාල කළමනාකරනය, මානව සම්පත් කලමනාකරණය, විනය, පෞරුෂ වර්ධනය, නීතිය හා මානව අයිතිවාසිකම්, අභිප්‍රේරණය වගේ ගොඩක් දේශන තිබුනා. මානව අයිතිවාසිකම් කියන දේශනයට ආව දේශකයා සුදුද කළුද කියලවත් බලාගන්න බැරි උනා. මොකද එදා මමයි තව කීපදෙනෙකුයි පොඩි කට් එකක් දාලා බිලට් එකට වෙලා වෙනම සාකච්චාවක් දාලා කාඩ් අතක් ගැහුවා. පස්සෙ ඉතින් අපරාදෙ කියලත් හිතුනා. ඒත් මොනා කරන්නද...


බෙහෙත් දෙන තැනට කිව්වෙ MI room එක කියලයි. මේක ගොඩක් අයගෙ හොර ගුහාව උනා. ‍මොකද කියනවනම් උදේට සරඹ වලට නොයා ඉන්නවනම් හේතුවක් තියෙන්න ඕනි. නැත්නම් අසනීපයක් තියෙන්න ඕනි. ඉතින් යන්න කම්මැලි හිතුනහම කට්ටිය කරන්නෙ මේ MI room එකට ගිහින් බොරුවට පැනඩොල් දෙකක් හරි ඉල්ලගන්නවා. එතකොට කට්ටියට හේතුවක් තියෙනවනේ නොයා ඉන්න. මේ අතර ඉතින් ඇත්තටම ලෙඩ වෙලා බේත් ගත්ත අයත් හිටියා. එතන තියෙන්නෙ සුළු බෙහෙත් විතරයි. බැරි වෙලාවත් කාට හරි ටිකක් දරුණු ගණයේ ලෙඩක් වගේ හැදුනොත් ඒ අයව කෑම්ප් එකේ බස් එකෙන්ම එක්කගෙන යනවා මින්නේරිය හරි පොළොන්නරුව හරි ඉස්පිරිතාලයට.


තව කියන්නම ඕනි දෙයක් තමා තනි තනිව නිදහසේ කුරුල්ලො වගේ හිටපු කොල්ලො කෙල්ලො තමන්ගේ සහකාරියව හෝ සහකාරයව හොයාගත්තා. මල්සරා ඇවිත් විදගෙන විදගෙන ගියා. ඒකත් ඉතින් ඒ අයගේ ජීවිතවල ඉතා වැදගත් අවස්ථාවන් තමයි.


උදේ නැගිටල ලෑස්තිවෙලා තුන්පෙළ එහෙම ගහලා කට්ටියවම එක්කගෙන යනවා උදෑසන ශාරීරික අභ්‍යාස වලට පිට්ටනියට. අපිට හැබැයි වැඩිය දුවන්න එහෙම දුන්නෙ නෑ. ගොඩක්ම කලේ වේගයෙන් ඇවිදින එක තමා. තව ව්‍යායාම ගොඩක් කලා. දවස් දෙක තුනක්ම අපිව කෑම්ප් එකෙන් එලියට එක්කගෙන ගියා ඇවිදින්න මින්නේරිය වැව වටේ. උදේ පාන්දර හන්දා මාරම ලස්සනයි පරිසරය. මීදුමත් ලාවට තියෙනවා. නිකන් නුවරඑලිය වගේ. කියන්න බෑ මේ අපි ඉන්නෙ පොළොන්නරුවෙ කියලා. ඇවිදගෙන යනකොට ඉතින් අමාරුනම් ඕනෙම කෙනෙක්ට නවතින්න පුළුවන්. අපේ පිටිපස්සෙන් එනවා කෑම්ප් එකේ බස් එක. ඉතින් ඒකට ගිහින් නගින්න පුළුවන්. උදේ ශාරීරික අභ්‍යාස වලට පස්සෙ ඉතින් තියෙන්නෙ බඩ පුරවගන්න තමයි. ඊට පස්සෙ ඉතින් ආයෙත් පිට්ටනියට.






සමහර දවස්වලට උදේට ශාරීරික අභ්‍යාස වෙනුවට තිබුනෙ යොගා. යොගා තියෙන දවසට එක්කෙනාට එක ගානේ හොද කුෂන් පිට්ටනියෙ එලලා තියෙනවා. යොගා වල විවිධ විවිධ ආසන ක්‍රම තියෙනවනේ. සමහර ආසන තියෙන්නෙ සැතපිලා කරන ඒවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති ඒවට තමා. මොකද ටික වෙලාවක් නිදාගන්නත් චාන්ස් එකක් එනවනේ. ඇත්තටම ඒ ආසන වල සමහර වෙලාවට විනාඩ් 8ක් විතර තියනවා. ඒ ආසනය ඉවර වෙලා තවත් එකක් පටන්ගන්න කට්ටිය හිටගන්නකොට සමහර අය එහෙම්මම හොදට නිදි.

හැමදාම උදේ කෑමෙන් පස්සෙ අපිට තියෙනවා සරඹ.





මොකද අපිට අන්තිම දවසෙ තිබුනා පාසින් අවුට් එකක්. ඒකට ඉතින් හැමදාම පුරුදු කරනවා. හමුදාවට අලුතෙන් බැදෙන ඕනෑම කෙනෙක් හමුදාවෙ විදිහට විනයගරුකව  90% ක්ම හැදෙන්නෙ සරඹ වලින්ලු. එහෙම කිය කියා අපිටත් ඉතින් පුරුදු කලා. ඒකනම් ඇත්තටම එපාවෙන වැඩක්. දකුණට හරවනවා වමට හරවනවා ආපස්සට එරවනවා ගමනේ යවනවා කල් බලවනවා වම් දක් කියනවා වගේ ඒවා මේවා ගොඩයි. ඕවා ඉතින් කවද කරපුවද අපි. ඕවා කලින් කරල තිබුනත් වැඩිම උනොත් අව්වෙ ඉදන් විනාඩි 20ක් වගේ කරල ඇති. ඒක නෙමෙයි හොදම වැඩේ. ඕව ඉතින් කට්ටිය කලින් වැඩිය කරලා නෑනේ. ඉතින් දකුණ කියනකොට වම උස්සනවා වම කියනකොට දකුණ උස්සනවා. ආපසු හැරේන් කිව්වහම සමහර අය වම් පැත්තෙන් හැරෙනවා සමහර අය දකුණුපැත්තෙන් හැරෙනවා. සමහරු ගමේ යනවා වගේ යන්නේ. එතකොට අපි ඒකෙනාට කෑගහනවා

මනුස්සයො පපුව ඉස්සරහට පස්ස පස්සට කියලා. . 

ඒකත් අන්තිමට වෙනම ජෝක් එකක් උනා. ඕවා ඉතින් හොද වෙලාවට පුරුදුකරපු සර්ලට එහෙම ඇහුනෙ නෑ. ඇහුනනම් මොනා කියයිද දන්නෙත් නෑ. ඊටත් වඩා ඒවට කමාන්ඩ් දෙන්නෙත් ගිරිය යටින් කෑගහලනේ. ඉතින් එක පාරට ගැස්සුනහම කරන දෙයත් සමහර වෙලාවට අමතක වෙනවා. සමහරු ඉතින් කද පිට්ටනියෙ තියාගෙන හිටියට හිත තියෙන්නෙ වෙන වෙන තැන් වලනේ. කොහොම හරි කට්ටියම අන්තිම දවස වෙනකොට තම තමන්ගේ වැරදි ටික හදාගත්තා. අන්තිම දවසෙ පාසින් අවුට් එක කට්ටිය තමන්ට කල හැකි උපරිමයෙන්ම කලා. හමුදාවේ බෑන්ඩ් එකේ බීට් එකට මාච් එක යනකොට ඇත්තටම තමන්ට අමුතුම ගාම්භීරත්වයක් එනවා. ඒක වචනයෙන් කියක්ක බෑ. ඉතින් ගැම්මෙන්ම කරන්න පුළුවන්. පාසින් අවුට් එක ඉවර උනාම ඒ සර්ලා කිව්වා මෙච්චරකල් නායකත්ව පුහුණුවට ආව කට්ටිටගෙන් හොදම පාසින් අවුට් එක ඔයාලගේ එක කියලා. ඇත්තටම ඒකනම් අපි කණ්ඩායමක් විදිහට ආඩම්බර වෙන්න ඕනිම දෙයක්.




ඒ අතර හැමදාම හවසට 4 ඉදන් 6 වෙනකන් තියෙන්නෙ සෙල්ලම් කරන්න. ක්‍රිකට්, නෙට් බෝල්, එල්ලෙ, බාස්කට් බෝල්, වොලි බොල් වගේ ක්‍රීඩා තිබුනා. අන්තිම දවස්වල තිබුනේ කණ්ඩායම් කණ්ඩායම් අතර මැච්. ඒවලින් දිනන අයට කුසලානත් දුන්නා




 හැමෝම තම තමන්ගේ කණ්ඩායම දිනවන්න උපරිම උත්සහයක් ගත්තා.

අකමැත්තෙන් උනත් කියන්න ඕනි දෙයක් තියෙනවා. සමහර දවස්වලට අපිට පුටු එහාට මෙහාට අදින්නත් උනා. මොකද සමහර දවස්වලට ලෙක්චර් හොල් එකේ තිබුන පුටු මෙස් එකට අරන්යන්න උනා. සමහරදාට පිට්ටනියට අරන් යන්න උනා. ආයෙත් ඉතින් ඒවා තිබුන තැනටම ගේන්නත් උනා. අත්තටම ඉතින් පුටු 250ක් විතර එහාට මෙහාට ගෙනියන එක හමුදාවෙ කීපදෙනෙක්ට ටිකක් අමාරු වැඩක්. ඒත් අපි හැම කෙනාම ඒක කලොත් ලේසි වැඩක්. ඉතින් අපිට කිව්වෙ තමන් ඉදන් ඉන්න පුටුව අරන් යන්න කියලයි. මුල් දවස්වලනම් අපෙන් වැඩ ගන්නවා කියලා පොඩි තරහකුත් හිතට ආවා. ඒත් ඉතින් ඒක මහලොකු වැඩක් නෙමෙයි හන්ද පස්සෙ පස්සෙ ගානක් නැතුව ගියා. ඒකෙනුත් ඉතින් දෙයක් ඉගෙනගත්තා. සහයෝගයෙන් වැඩක් කරනකොට කොච්චර ලේසිද කියලා හිතුනා. නැත්නම් කීපදෙනෙක් මේ ටික ඔක්කොම ඇද්දනම් කොච්චර කාලයක් යයිද? ඒ වගේම කොච්චරනම් මහන්සියක් වැයකරයිද? මේ ඔක්කොම ජීවිතයට නව අත්දැකීම් උනා.

අපි සංස්කෘතික ගමන විදිහට ගියේ පොළොන්නරුවෙ පූජා නගරයට.  අපේ කෑම්ප් එකබාර සර් අපිට එම ස්ථාන විස්තර කරන්න වෙනම ගයිඩ් අන්කල් කෙනෙක්වත් කතා කරලා තිබුනා.











අපි එහෙට යනකොටත් තවත් කෑම්ප් ගෙඩකින් ඇවිත් හිටියා. ඉතින් අපිත් එක්ක ඔක්කොම 2500ක්වත් ඉන්න ඇති. උඩක ඉදන් බැලුවොත් ඔක්කොම එක වගේ. වෙනසකට තිබුනේ අතේ පැලදගෙන ඉන්න බෑන්ඩ් එක විතරයි. ටුවර්ස්ට්ලත් කට ඇරගෙන බලන් හිටියා මොකක්ද මේ එකකපාරටම වෙන්න යන්නෙ කියලා.






පොළොන්නරුවෙ ගිය දවසෙ හවස අපි ගියා මින්නේරියේ පිහිටල තියෙන වනජීවී සංරක්ෂණ කාර්යාලයට. එහෙන් අපිට දේශනයකුත් කලා. ඊට පස්සෙ අපි කෞතුකාගාරය බලන්න ගියා. ඒකනම් මාරයි. අනිවාර්යෙන්ම අපි යන්න ඕනිම තැනක්. ඇත්තම සතුන්ගේ හම අරගෙන් ඒවට පුළුන් එහෙම පුරවලා ඒ සතා ජීවමානව ඉන්නවා වගේම ආකෘති හදලා තිබුනා.





එතනදි අපේ කණ්ඩායමේ අක්කා කෙනෙක්ට මාර වැඩක් උනා. හැමෝම ඉතින් පෝලිමේ යනවා සත්තු බලාගෙන්. ෆොටො එහෙමත් ගන්නවා. ඔහොම යනකොට එක ප්‍රදර්ශන කුටියක තිබුනා මැරුන සර්පයෝ බෝතල් වල දාලා. උන් මැරිලා හන්ද කට්ටිය එක එක ඔච්චම් කර කර ඉස්සරහට ගියා. මොකද ඉතින් උන් මැරිලනේ. පන පිටින් හිටියනම් බලාගන්න තිබුනා.




 කට්ටිය ඒවල සිහියෙන් ගිය හන්ද බිම තිබුන ලොකු පොලගගේ ආකෘතිය දැක්කෙ නෑ. කොහොම හරි ඒ අක්කට ඕක ලාවට වගේ පෑගුනා විතරයි කට්ටියවත් පෙරලගෙන හූ තියාගෙන එලියටම දුවලා තමා නතර උනේ. ඒක ඇත්තම පොලගෙක් වගේ. බලන්නකො මේක ඇත්තම එකෙක් වගේ නෙමෙයිද කියලා.






එක එක කාණ්ඩ වලින් වෙන වෙනම ටැලන්ට් ෂෝ තිබුනා. ඒවගෙන් ගොඩක් අයගේ දක්ෂතා එලියට ආවා. කවදාවත්ම සමූහයක් ඉදිරියෙ කතා නොකරපු අයට කතා කරන්නත් තමන්ගේ හැකියාවන් ඒ තුලින් පෙන්නන්නත් අවස්ථාව හම්බුනා. 6 වෙනි කණ්ඩායමයි 8 වෙනි කණ්ඩායමයි එකතුවෙලා කරපු ටැලන්ට් ෂෝ එක සෑහෙන පෙරලියක් කලා. ඊට පස්සෙ අන්තිමටම තිබුනේ අපේ කණ්ඩායමේ ෂෝ එකත ඒකත් අපිට කරන්න පුළුන් උපරිමෙන්ම කලා. ඇත්තටම හැම කණ්ඩායමක්ම තමන්ගේ ෂෝ එක හැකි උපරිම විදිහට කලා. ටැලන්ට් ෂෝ වලදි සෑහෙන්න මඩ බාල්දි ගනන් පාස් උනා. සමහර අයව උපහාසයට ලක් කලා. ඒ අතර ජනප්‍රයම උනේ ශලිනිව. සමහර රගපාපු චරිත මම හිතන්නේ කාටවත් අමතක වෙන එකක් නෑ. අදටත් ඒවා මතක් කර කර හිනාවෙන්න පුළුවන්. කොල්ලෝ කෙල්ලො විදිහට ඇදගෙනත් කෙල්ලො කොල්ලො විදිහට ඇදගෙනත් රගපෑවා. හිනා වෙලාම පන යනවා. ටැලන්ට් ෂෝ වලදි ප්‍රසිද්ධ උන අය අතර අපේ මාතරයා, මිස්ටර් බීන්, අලයා, සයිකො, කිරියා, කලුවා, සාස්තරේ, ආරෝහී, සක්කර ගැබා ඉදිරියෙන්ම ඉන්නවා.




විවාද තරග වලදී අපේ කණ්ඩායම හා පස් වෙනි කණ්ඩායම අතර තිබුන විවාදය සෑහෙන උනුසුම්ව තිබුනා. ඒ විවාදයෙදී අපේ සජිත් සොහොයුරාගේ කතාව කට්ටියටම අමතක වෙන එකක් නෑ. ප්‍රතිවාදී කණ්ඩායමේ තර්ක වලදී ඔලුව හොලව හොලව ඔවුන්ව අපහසුතාවයට පත්කල හැටි එදා හිටපු හැමොටම මතක ඇති. ඒ වගේම තවත් විවාදයකදි අං කටුස්සා ජනප්‍රිය උන හැටිත් මතක ඇති. මේ ඔක්කොම අපේ දින 21ක් පුරාවට තිබුනාවූ නායකත්ව පුහුණුවේ අමතක නොවන මතකයන් තමයි.


අන්තිම දවස් කීපය වෙනකොට සියලුම දෙනා එක්කම වගේ කතා බහ කරලා එකිනෙකා හොදින් අදුනගෙන තිබුනා. ඔහොම ඔහොම අවසාන දිනයත් ලන් ලන් වුනා. මුලදි ගෙදර දුවන්න සිහියෙන් හිටියට අන්තිම වෙනකොට තව ටික දවසක් එක්කො තව එක දවසක්වත් නැත්නම් තව පැය කීපයක්වත් අපිට සහෝදර සහෝදරියො වගේ එකට ඉන්න තිබුනනම් කොච්චර දෙයක්ද කියලා හිතුනා. අන්තිම දවසෙ රෑ තිබුනා ලොකු සංගීත රාත්‍රියක් සමග ගිනි මැලයක්.






 ඒක තමයි මා ඇතුළු සියලුම දෙනා කෑම්ප් එකේ ගත කරපු අන්තිම රාත්‍රිය. කට්ටිය ඉතින් උපරිම විනෝද උනා. ස්ටාෆ් අයියලා සර්ලා ඔක්කොම වගේ අපිත් එක්ක නැටුවා විනෝද උනා. ගන්න තිබුන උපරිම ෆන් එක ඒ වෙලාවෙදී ගත්තා. සැර පරුෂ විදිහට අපිට පෙනුන ස්ටාෆ්ලා සර්ලද කියලත් හිතුන අපිත් එක්ක මෙහෙම සහෝදරයො සහෝදරියො වගේ නටන්නේ. කෑම්ප් එකේ ගන්න අවසාන උපන්දිනයත් එදා රෑ 12ට සැමරුවා. එදා කට්ටියම සංගීතයෙදි උපරිම සතුටු උනත් හිතේ කොනක පොඩි දුකකුත් මූදු වෙමින් තිබුනා. මොකද හෙට කියන දවස වෙනකොට අපි එකට නෑ. කට්ටියම ගෙවල්වල. ඉතින් එදා අවසානයේ සෑම කෙනෙක්ම නින්දට ගියේ හිතේ දරාගන්න බැරි දුකකුත් එක්ක කිව්වොත් නිවැරදි. එදා රාත්‍රිය වෙනදට වඩා ඉක්මනින් ගෙව්ලා ගියා කියලයි මගෙනම් අදහස. අවසාන ‍මොහොතත් කෙමින කෙම්න් උදා උනා. සියලුම දෙනාට කතා කරලා අතට අත එහෙම දීලා කට්ටියම නි‍වෙස් බලා යන්න බස් රථවලට නැග්ගෙ දරාගන්න බැරි දුකකින්. ගොඩක් අය ඇඩුවා.


අද කියන දවස වෙනකොට ඇත්තටම ලංකාවේ සෑම කැම්පස් එකකම අපි දන්න අපිත් එක්ක දුක සැප බෙදාගත්ත යාළුවො ඉන්නවා. ඒ වගේම ඕනෙම දෙයකට උදව්වට අලුතෙන් යාළුවො පිරිසක් එකතු උනා. ඒ වගේම තනියෙන් යමක් පිලිවෙලකට වගේම වෙලාවකට කරන්නත් ඒ වගේම කොන්ද පණ තියෙන පුද්ගලයෙක් හැටියට සමාජයේ අපට මූණ දීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මෙන්ම නිවැරදිව මූණ දීමට අවශ්‍ය  පසුබිම මෙම කාලය තුල අප ලබාගත්තා.



ඔන්න ඉතින් අමතක වෙන්න කලින් නායකත්ව පුහුණුවෙ නොමැකෙන මතක සටහන් මේ විදිහට ලියලා අවසන් කලා. තව අවුරුදු ගානකින් මේක කියෙව්වත් අද ඊයෙ පුහුණුවට ගිහින් ආව වගේ කියලා පුහුණුවට ගිය අයට හිතෙයි. සමහර විට මෙම ලිපි දෙකම කියවපු ඔයාට එපා වෙන්නත් ඇති. නැත්නම් කිවේවෙ අපරාදෙ කියලත් හිතෙන්න ඇති. ඒත් නැත්නම් ආසාවෙන් කියවන්න ඇති. ඒ ඔක්කොම ගුණ දොස් කියවපු ඔයාට බාරයි.

9 comments:

  1. මේ පෝස්ට් එක සෑහෙන්න වටිනවා..
    මචං කලින් පෝස්ට් එකට යන්න හදපු ලින්ක් එක වැඩ නෑ.. ඒක හදහං.. අර ඉන්නෙ පිඹුරෙක්ද ඒමත් නැත්නම් පොළඟෙක්ද ? :O

    මේ අවුරුද්ද NDT යන්නෙ නැතුව තව අවුරුද්දක් හිටියනං කියල හිතෙන තරමටම මේක පටෙට ලියලා :D
    ජය!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සමියෝ.................
      මම ලින්ක් එක හදන්නම්. කලින් ලින්ක් දාලා නැති හන්ද තමා අවුල යන්න ඇත්තෙ. ඒත් හරි ගියේ නැත්නම් උශේ සහය පතන්නම්.
      නෑ බං උඔ NDT ගිය එක මමනම් කියන්නේ හොදා. මොකද නැත්නම් තව අවුරුද්දක් නාකි වෙනවා. :D

      Delete
  2. අපරාදෙ කියලා හිතුන් නෑ බන් ගොඩක් ආශාවෙන් කියෙවුවෙ. නියමෙට ලියලා තියෙනවා.

    ඔය නායකත්ව පුහුණුව ගැන තිබ්බෙ වැරදි අදහසක්නෙ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.....

      අමතක වෙන්න කලින් ලියලා දැම්මා............ :D
      මමත් යන්න කලින් වැරදි අදහසක තමා හිටියේ. ඒත් ගිය පලවෙනි දවසෙම ඒක වෙනස් උනා.......

      Delete
  3. පට්ටෙට ලියල තියනවා බන්...අපිට ඔය අත්දැකීම් ලබාගන්න වැඩ කරගන්න උනන්දුවක් තිබ්බෙ නැති එකගැන දුකයි බන් දැන්නම්....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සසිදුවෝ................
      පරණ ඒවා දැන් වැඩක් නෑ බං. ඒක එක අවස්ථාවක් විතරයි කියලා හිතහන්. තව කොච්චර ඒවා ඉස්සරහට තියෙනවද. :D

      Delete
  4. තෑන්ක්ස් සසිදුවෝ................
    පරණ ඒවා දැන් වැඩක් නෑ බං. ඒක එක අවස්ථාවක් විතරයි කියලා හිතහන්. තව කොච්චර ඒවා ඉස්සරහට තියෙනවද. :D

    ReplyDelete
  5. බොහොම රසවත් ලියවිල්ලක්. නොදැනුවත්වම අප සහභාගිවූ එවැනි දේ ගැනත් මතකය ඇවිස්සුනා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියා...........
      කවද හරි කියවනකොට ආයෙත් මතක්වෙයි කියලයි මේක ගොඩක්ම ලිව්වෙ.

      Delete